Thursday, May 24, 2012

සරසවි පාඨමාලා විකිණිමට එරෙහි වෙමු !

      අද සරසවි ආචාර්යවරුන් මහ මග සටන් කරන්නෝය. ඔවුන්ගේ සටන්පාඨ වල ප‍්‍රමුඛ ස්ථානයක් වී ඇත්තේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් කළ යුතුය යන්නයි. බුද්ධිමතුන් ආචාර්ය මහාචාර්යවරුන් එසේ කියන්නේ මන්ද, සරසවි අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප‍්‍රමාණවත් නොවීම නිසයි. එහි ප‍්‍රතිඵල අප ඉදිරිපිටම දැක ගන්නට හැකිය. අප පීඨයට පීඨ සංකීර්ණයක් නොමැතිකමේ සිට හරියාකාරව විෂයන්ට අදාල නිබන්ධන ලබාදීමවත් වේලාවට සිදු නොවන්නේ අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුවේ මහිමය නිසායමය.


      මෙවන් අවස්ථාවක නිදහස් අධ්‍යාපනය විකිණීමට සැලසුම් සකස් කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් ඇත. අධ්‍යාපනය ද විකුණා දැමා එය මුදල් උපයන වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම රටේ අනාගතය ඉදිරියේ ඇති ඛේදවාචකය මානවාට කියා පාන්නේය. ජාතික අධ්‍යාපනය පෞද්ගලීකරණය සදහා පෙරමුණු පහකින් ආණ්ඩුව කටයුතු කරමින් ඇත. සරසවි තුළ පාඨමාලා විකිනීම එහි ප‍්‍රමුඛ ක‍්‍රියාවලියකි. මෙම ලිපිය සටහන් තබන්නට හේතුව වූ අලෙවිකරණ පාඨමාලාව මුදලට විකිණීම අධ්‍යාපනය පෞද්ගලිකරණය ට පාර කපන්නක් බව රහසක් නොවේ.

     මෙම පාඨමාලාව මුදලට ලබාදීම සදහා පීඨ පරිපාලනය තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ කළමණාකරණ හා මුල්‍ය පීඨයට ව්‍යාපාර ප‍්‍රජාවගේ සහයෝගය හා දැනුම ලබාගැනීමට හැකිවීමත්, පෞද්ගලික උපාධිකඩ වලින් සමාජයට වන හානීය අවම කිරීමත්, ප‍්‍රදේශයේ සමාන්‍ය පෙළ සමත්ව ඇති පිරිසකට අලෙවිකරණය හැදෑරීමට අවස්ථාව ලබාදීමත් පීඨ සංවර්ධනය සදහා අරමුදලක් ගොඩනැගීමත් යන කරුණුය. අලෙවිකරණ පාඨමාලාව බාහිරට ලබාදීමට ඇති මානව හා භෞතික සම්පත්වල ප‍්‍රමාණය පිළිබද ප‍්‍රශ්නාර්ථයක් ඉතිරී කරමින් අපට යමක් කියන්නට තිබේ. පීඨ පරිපාලනයේ මෙම තර්ක තවත් අධ්‍යනාංශයක් ඉදිරිපත්කර පාඨමාලාවක් විකිණිමට සුදානම් විය නොහැකි යැයි කිව හැක්කේ කාහටද? උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ විකිණිමට එය මනා පිටුවහලක් හා තර්කයක් වනු ඇත.

     පෞද්ගලීක උපාධි ලබා දෙන ආයතනවලින් සමාජයට වන හානීය අධ්‍යාපන බලධාරීන් පිළි නොගන්නා නමුදු පීඨ පරිපාලනය එය පිළිගැනීම පැසසිය යුතු කරුණකි. නමුත් ඒ සදහා කළ යුත්තේ අධ්‍යාපනයට ඇති සම අවස්ථා පුළුල් කිරීම විනා මුදලට පාඨමාලා විකිණීම නොවේ. අද රුපියල් හතලිස් දහසක මුදලක් ඇති සුළු පිරිසකට එම අවස්ථාව පුළුල් කරන මෙම තර්කය හෙට තවත් ඉතා සුළු පිරිසකට උපාධියක් විකිණිම සදහා යොදා නොගන්නා බවට සහතික වන්නේ කවුරුන් ද? පෞද්ගලීක ආයතන හා සමාගම් සතු කළමානාකරණය පිළිබද දැනුම ලාබා ගැනීමට එම ආයතන සමග ආයතනීක සම්බන්ධතා ගොඩනගාගැනීමට හැකිය, යන තර්කය කිසිසේත්ම මෙම පාඨමාලා විකිණිම සදහා අදාල නොවේ. ආයතනික මට්ටමෙන් පෞද්ගලීක අංශය සමග සම්බන්ධතා ගොඩනගාගැනීමට සැබෑ අවශ්‍යතාවයක් ඇති නම්, අවම වශ්‍යයෙන් අවසන් වසර දෙවන සමාසිකයේ අනිවාර්ය ආයතනගත පුහුණුව සදහා අප පීඨයේ සිසුන් තෝරාගන්නා පෞද්ගලික ආයතන වලට ස්තුතිකර පීඨ මට්ටමෙන් ලිපියක් හෝ ලබාදිය යුතු නොවන්නේ ද?

     මේ සිදුව ඇත්තේ කුමක් ද? උසස් අධ්‍යාපන ඇමැතිතුමා පෞද්ගලික උපාධිකඩ ඇති කිරීමට පනත් නීති සැලැසුම් සකස් කරන්නේය. දේශීය සිසුන්ගේ අවස්ථා කප්පාදු කරමින් විදේශීය සිසුන්ට ජාතික සරසවි පද්ධතියේ මුදල් අයකර උපාධි ලබාදීමට කටයුතු කළේය. අධ්‍යාපනයට වෙන්කළ යුතු ප‍්‍රතිපාදන කපාදමා සරසවි පද්ධතියම පාහේ ලාභ ලබන ආයතන බවට පත්කරන්නට කටයුතු කරමින් ඇත.  මෙවැනි තත්ත්වයක් හමුවේ රටට ආදරය කරන, නිදහස් අධ්‍යාපනය රැකගැනීමට වෙහෙසෙන ප‍්‍රගතිශීලී බලවේග ආණ්ඩුවේ මෙම අධ්‍යාපන සංහාරයට එරෙහිව සටන් කරන්නෝය. පෞද්ගලීක විශ්වවිද්‍යාල පනත මෙන්ම අධ්‍යාපන පෞද්ගලීකරණයට ගෙන ආ සකළවිධ උපක‍්‍රම පරාජය කරන්නට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය නොනවතින අරගලයක නිරත වෙමින් ඇත. ආචාර්ය සංගමය අනධ්‍යයන සේවක සංගම් මෙන්ම සියලූ ප‍්‍රගතිශීලී බලවේග අධ්‍යපනය ආරක්ෂාකර ගැනීමට සටන්කරමින් ඇත. රුහුණ සරසවි සිසුන් ලෙස අප නිදහස් අධ්‍යාපනය අරක්ෂාකර ගැනීමේ සටනට කොන්දේසි විරහිතව දායක විය. ඉදිරියට ද එය එසේමය. ආණ්ඩුවෙන් අප හමුවේ මුදාහල මර්ධනයෙන් අප පීඨයේ සිසුන් ගණනාවක් සිරගත වන්නට සිදුවිය. තවත් නොයෙක් මර්ධනයන්ට අප මුහුණ දුන්නෝය. එවැනි අවස්ථාවලදී අපට සරසවි ප‍්‍රජාවන්ගෙන් ලබාදුන් සහය අමතක කළ නොහැකිය.

     ජාතික මට්ටමේ පරාජය වූ අධ්‍යාපන පෞද්ගලීකරණයට ආදාල වැඩ සටහන් සරසවි මට්ටමින් විවිධ මුහුණුවරින් ඉදිරිපත්වීම සිදුවේ. කුමන අරමුණකින් මෙම අලෙවිකරණ පාඨමාලාව කි‍්‍රයාත්මක වුවද මෙයින් සිදුවන්නේ අධ්‍යාපනයට ඇති සම අවස්ථා අහිමි වෙමින් මුදලට පාඨමාලා විකිණීම පමණි. කෙසේ වෙතත් ලාභ ඉපැයීමේ අරමුණක් මෙම පාඨමාලාතුළ ගැබ්ව පවතින බව අප පිළිගත යුතුම කරුණකි. අප සියලූ දෙනාට එක්ව කළ යුතු යමක් ඇත. එය පාඨමාලා හෝ උපාධිය විකිණීම නොවේ, වසර ගණනාවක් පීඨ සංකීර්ණයක් නොමැති අප පීඨයට පීඨ සංකීර්ණයක් හා පීඨයක් සදහා අවශ්‍ය වන්නා වූ මානව හා භෞතික පහසුකම් දිනා ගැනීමය. අප තර්ක කළයුතු, අප වැඩ කළයුතු, අප සටන් කළයුතු, අප දිනා ගතයුතු අරමුණ එයයි. රුහුණ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයට බදවාගන්නා සිසුන් ප‍්‍රමාණය වැඩිකර සැබෑ ලෙසම අවස්ථා පුළුල් කළ හැක්කේ එවිටය.

     එසේනම්, අප නිදහස් අධ්‍යාපනය රැකගැනීම සදහා එක්ව අරගල කරමු. අපි ඒ සදහා ඔබට ගෞරවයෙන් ඇරුයුම් කරන්නෙමු.

මහා ශිෂ්‍ය සංගමය - රුහුන විශ්වවිද්‍යාලයය

0 comments:

Post a Comment