Monday, January 30, 2012

රාජ්‍ය සරසවි නඩත්තු වියදම් සිසුන්මත පැටවීම වහා නතරකරනු...

     රුහුණ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර වල නඩත්තු වියදම සිසුන් මත පැටවීමට පරිපාලනය ගත් අත්තනොමතික තීරණයට විරෝධය පලකරමින් අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමි‍ටුවේ රුහුණ වෛද්‍ය පීඨ කමිටුව විසින් මෙම ගැටලුවෙහි සැබෑ ස්වරූපය පැහැදිලිකරමින් 2012.01.30 දින රුහුණ විශ්වවිද්‍යාලය තුළ බෙදාහරින ලද අත්පත්‍රිකාව.

ආදරණීය සහෝදරයා, සහෝදරිය,
 
     2010 වසරේ සිට කරළියට පැමිනි නේවාසිකාගාරවලින් මුදල් අයකිරීමේ කුමන්ත‍්‍රණයට එරෙහිව අප ගෙන ගිය අරගලය දැන් ඉතා තීරණාත්මක මොහොතකට එළඹ ඇත. එම අරගලයේ මේ මොහොතේ විශේෂත්වය කතාකිරීමට මත්තෙන් නේවාසිකාගාර ගාස්තු අයකිරීමට යන වැඩපිලිවෙලෙහි ආරම්භය සහ සැබෑ ස්වරූපය පිලිබ`දව අප වඩාත් නිවැරදි අවබෝධයක් ඇතිකරගත යුතුය.


      ඔබ අප කවුරුත් දන්නාපරිදි අනෙතුත් පීඨවල මෙන්ම අප වෛද්‍ය පීඨයේද සෑම සිසුවකුම අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වීමට රු. 250 ක මුදලක් වාර්ශිකව අයකරනු ලබයි. මෙය කිසිවිටෙකත් වෛද්‍ය පීඨය නඩත්තුකිරීම සඳහා වාර්ශිකව වැයවන වියදම මත පදනම්ව අයකරන ලද ගාස්තුවක් නොවන අතර එය ලියාපදිංචි ගාස්තුවක් වශයෙන් අයකරන ලදී. එමෙන්ම නේවාසිකාගාර පහසුකම් භාවිතාකරන සිසුන්ගෙන්ද මෙවැනිම වූ ලියාපදිංචි ගාස්තුවක් වශයෙන් වාර්ශිකව රු. 600 ක මුදලක් අයකරන ලද අතර මීට පෙර කිසිවිටෙකත් එය නේවාසිකාගාර නඩත්තුව සඳහා වැයවන වියදම හෝ ඉන් කොටසක් ලෙස හැඳින්වූයේ නැත. එය එසේ වූයේ අන් කිසිවක් නිසා නොව අප රටෙහි අධ්‍යාපනය සේවාවක් වශයෙන් ලබාදෙන්නක් වීම නිසාය. එනම් නිදහස් අධ්‍යාපන ක‍්‍රමය නිසාය. මේනිසා සරසවි නඩත්තුකිරීම සඳහා වැයවන වියදම සෘජුවම සිසුන්ගෙන් අයකරගැනීමේ ක‍්‍රමයක් මීට පෙර ක‍්‍රියාත්මක නොවින.


      නමුත් 2009 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුළපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතාගේ මුලිකත්වයෙන් පවත්වනලද ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා මූලික නිර්ණායක සෑදීමේ කමිටුවකදී රුහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර නඩත්තුව සඳහා වැයවන වියදම් පදනම් කරගනිමින් සිසුන්ගෙන් එම මුදල අයකිරීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව එම කමිටුවෙන් ඉදිරිපත්කර ඇති වගන්ති දෙකක් පහත දැක්වේ.

4. නේවාසිකාගාර පවත්වාගෙන යාම සඳහා වැයවන මුදල් මත පදනම්ව ගාස්තු අයකිරීමේදී සෑම මාස 03 කට වරක්ම මාසික නේවාසිකාගාර ගාස්තු (පසුගිය මාස 03 හි වැය පදනම්ව) ප‍්‍රතිශෝධනය කිරීම සිදුකළ යුතුය.

5. මෙම නිර්ණායකයන් ඉංජිනේරු හා කෘෂිකර්ම පීඨයන්හි 2010 වර්ෂයේ නව අධ්‍යයන වර්ෂය ආරම්භ වීමත් සමග ද, අනෙකුත් සියලූ පීඨයන්හි 2011 ජනවාරි මස සිටද ක‍්‍රියාත්මක කළ යුතුය.



      මෙහිදී, "නේවාසිකාගාර පවත්වාගෙන යාම සඳහා වැයවන මුදල් මත පදනම්ව ගාස්තු අයකිරීම ලෙස" නේවාසිකාගාර ගාස්තු හරහා සරසවි නඩත්තුකිරීම සඳහා වැයවන වියදම සෘජුවම සිසුන්මත පැටවීම සිදුකර ඇත. මූලින් මෙය නේවාසිකාගාර වලට පමණක් යෝජනා කලද, ඉන් අනතුරුව පුස්තකාලය, දේශණ ශාලා ඇතුලූ අනෙකුත් පහසුකම් ස`දහාද ආදේශ කෙරේද යන සාධාරණ සැකයක් අපහට ඇත.


      එමෙන්ම දශක 3 ක් පුරා, වටිනා ජීවිත හා දේපල විනාශකරමින් පැවති කුරිරු යුද්ධය අවසන්වී වසර 2 1/2 ක් පමණ ගතවී, සමස්ථ ශී‍්‍ර ලාංකිකයින් එහි ආර්ථික ප‍්‍රතිලාභ බුක්තිවි`දිමින් ඇති මොහොතක අප හමුවට පැමිනෙන මෙවැනි ගැටලූවල සැබෑ ස්වරූපය අප නිවැරදිව හඳුනාගත යුතුය.


      රජරට වෛද්‍ය පීඨය ආරම්භ කර වසර 6 ක් ගතවී ඇතත් මහාචාර්ය ඒකකයක් ආරම්භ කිරීමට තවමත් නොහැකිවී ඇත. ඒ හේතුවෙන් එහි අවසන්වසර සිසුන්හට වැඩිපුර වසරක කාලයක් මේවනවිටත් නිකරුනේ ගෙවාදැමීමට සිදුවතිබේ. එමෙන්ම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වැඩ කඩිනම් කිරීම සහා රජය මැදිහත් වී රු. මි. 600 ක මුදලක් ලබාදී ඇත. එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් සෘජුවම මුදල් අයකරගැනීමට ඇති නොහැකියාව හේතුවන් ඔවුන්ගේ අවස්ථා අහිමිකර ඒ වෙනුවට විදේශ සිසුන් බඳවාගනිමින් මුදල් අයකිරීම ද ආරම්භකර ඇත. මේ අනුව 2011 වසරේ 5% ක් විදේශ සිසුන් බඳවාගෙන ඇති අතර, ඉදිරියේදී එය 20% ක් දක්වා වැඩිකරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශකර ඇත. එමෙන්ම අමතර රු. කෝටි 50 ක මුදලක් වාර්ශිකව වැයකරමින් හා නියමිත ටෙන්ඩර් පටිපාටියටද පටහැනිව "රක්නාලංකා" නැමති අමතර ආරක්ෂක සේවයක් සරසවිවලට යෙදවීම, වැනි සිදුවීම් මෙහිදී විශේෂයෙන් සඳහන්කල යුතුය. මේවනවිට පාසල් අධ්‍යාපන වියදමේ බරපැන ද දෙමාපියන් මත පැටවීමේ ක‍්‍රමික වැඩපිලිවෙලක් විවිධ උපක‍්‍රම හරහා ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටී.


      නිදහස් අධ්‍යාපනයට අත නොතබා අධ්‍යාපනයයේ සම අයිතිය සුරක්ෂිත කරනබවට පොරොන්දුවී ඇති වත්මන් රජය, අධ්‍යාපනය පෞද්ගලීකරනය තම ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඇත. එමෙන්ම අධ්‍යාපනය ලාභ ලැබියහැකි ක්ෂේත‍්‍රයක්බවට පත්කරගත යුතුබව ප‍්‍රකාශකර තිබේ. මේ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙන ඒමට උත්සාහදරමින් සිටී.


      අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි මෙන්ම අනෙකුත් සමාජ, ආර්ථික හා දේශපාලන අංශයන්හි සිදුවන ක‍්‍රියාකාරිත්වයන් සියල්ල සලකා බැලීමේදි යම් නිගමනයකට එලඹිය හැක. එනම් සේවාවක් වශයෙන් පවතින නිදහස් අධ්‍යාපන ක‍්‍රමය පවත්වාගෙන යාමේ වගකීමෙන් නිදහස් වීමට උත්සාහ දැරීමයි. නැතහොත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කර ලාභ ලැබියහැක්කක් බවට පත්කිරීමයි.


      නිදහස් අධ්‍යාපනය යනු, අධ්‍යාපනය නොමිලයේ ලබාදෙන්නක් යන්න අදහස් නොකෙරේ. ඊට හේතුව මෙරට සියලූම පුරවැසියන් බදු මුදල් ගෙවීම හරහා මෙම සේවාවන් පවත්වාගෙන යාමට දායක වන බැවිනි. නමුත් මෙවැනි ගාස්තු අයකිරීම් හරහා අපහට දෙවතාවක් මුදල් ගෙවීමට බලකිරීම ඉතා කනගාටුදායක තත්වයකි.




      මේඅනුව නේවාසිකාගාර ගාස්තු අයකිරීමේ වැඩපිලිවෙල හුදු තනි ක‍්‍රියාවක් වශයෙන් නොව සේවාවක් වශයෙන් පවත්වාගෙන යන මෙම නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේ බරින් නිදහස්වීම හෙවත් පෞද්ගලීකරණය කිරීමට යන ක‍්‍රමික ක‍්‍රියාවලියේම කොටසක් වශයෙන් අප ඉතා නිවැරදිව හඳුනාගත යුතුය.


      මෙම ගැටලූව සම්බන්ධයෙන් අප පරිපාලනය සමග කරනු ලැබූ කිසිදු සාකච්චාවකට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුනු අතර, ඒ වෙනුවට අපහට ලැබුනේ වරින්වර සිසුන්ගේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවීම, ඒ වෙනුවෙන් පෙනීසිටි සිසුන්ට විනය පරීක්ෂණ පැවැත්වීම, ලිපි මගින් සිසුන්ට හා දෙමාපියන්හට තර්ජනය කිරීම, ඇතැම් ආචාර්යවරුන් විසින් සිදුකරන ලද ගුරුවෘත්තියටද නොගැලපෙන ඉතා පහත් ආකාරයේ බැණවැදීම් තර්ජනය කිරීම් සහ බියවැද්දීම්ය.


      ගැටලූව නිවැරදිව හඳුනාගැනීමත්, අපතුල ඇති ආත්මවිශ්වාසය එඩිතර බව සහ සියල්ල එකාවන්ව අත්වැල්බැද කල කැපකිරීම් මගින් අප හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජයගත හැකිබව මෑතකදී යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කිරීමෙන් ද ඔප්පුකර ඇත.


      මෙරට අතිමහත් බහුතරයක් වූ පුරවැසියන් හට ආලෝකයක් වූ නිදහස් අධ්‍යාපන ක‍්‍රමයේත්, සරසවි පද්ධතියෙත් අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් අප මත දැවැන්ත වගකීමක් පැවරී ඇත. අපගේම අතීත සොයුර සොයුරියන් ලේ දහඩිය කඳුලූ මෙන්ම තම වටිනා දිවිකුසුමද කැපකරමින් අපහට උරුමකරදීඇති මෙම උරුමය මතු පරපුරටද උරුමකරදීමේ උතුම් කාර්යභාර්ය වෙනුවෙන් නැගීසිටිය යුතු මොහොත උදාවී ඇත.


2012.01.30


 නේවාසිකාගාරවලින් ගාස්තු අයකිරීම හරහා සරසවි විකුණාගෙන කෑම නවතනු !
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු !


අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව - 
රුහුණ වෛද්‍ය පීඨ කමිටුව

0 comments:

Post a Comment